Tuesday, August 16, 2016

කෙලින්ම නිවනට !!!!!!!

කෙලින්ම නිවනට !!!!!!!

ජංගම දුරකථනය කෑගසයි.
" හලෝ ! ! ! "
"අපි දැන්  ඉන්නේ හතරමං හන්දියක"
"ඔතනින් දකුණට හැරිලා එනකොට , වමට පලවෙනි පාරේ කෙලවරේ ගෙදර"
" ස්තූතියි" ලයාන්විත කාන්තා කට හඩ දුරකතනය විසන්ධ් කරයි.
සරම උනා කොට කලිසමට  බැස  එලිපත්ත පනින මොහොතට 
" මේ ගෙදර සීනි ඉවරයි...."  ලෝක විනාසෙට සීනි හිග වන්නා සේ බිරිද බෙරිහන් දෙයි.
"තූ නොදකින් උදේම අපු බිස්නස් එකත් මස්ත බාල්දු වෙනවා මේ  නැති වාදමට " 
මා සිතින් ඇයට බැණ වදියි.

විකිණීමට ඇති නිවස අසල කිරිපාට නවීන පන්නයේ දෙමුහුම් රථයක් නතර වෙයි. හදපලුවක් වන් නෝනෙක් සහ කලුවර කොටයක් වන් මහතෙක් එලියට බසිති. මට පහේ ශිෂ්යත්ව විභාගයට ඉගෙනගත් විරුද්ධ පද සිහිවේ.
බ්රිලියන්ට් වයිට් සේල ඇදි දෙපලම ඕෆ් වයිට් දසන් දක්වා සිනාසේ.
"මේක තමයි  නෝනා ගේ " මා ගේට්ටුවේ ඉබි තඩියා පන්නන ගමන් පවසයි.
කිසිකලබලයක් , කුලප්පුවක් නැත. ඔවුන් පෙරහැරක යන ඇතුන් දෙදෙනකු මෙන් බිත්ති දොර ජනේල වලින් වැසුණු හිස් අවකාශය දෙස නෙතුපිය ලමින් ගමනේ යෙදේ. ඔවුන් ගේ ගමන සංවරය ,ඇය ලතාවට කලාවට පාද තබයි , ඇගේ හැඩැති නිතඹ පැද්දෙයි. ඔහු ඊට නොදෙවෙනි වන්නමක පාද තබයි . ඔහුගේ හැඩැති බඩ ගෙඩිය පැද්දෙයි.
"හරිම නිස්කලංක තැන " අවට සිරි නැරඹීමට එලිපත්තට පැමිණෙන නෝනා පවසයි.
"ඔයා ගෙයි ෆොටෝස් ටිකක් ගන්නවද?" මුහුණ බලන අත් කණ්ණාඩියක් තරම් විශාල වු ඇගේ වටිනා ජංගම දුරකථනය ඔහු අතට දෙමින් පවසයි.
"ගේ බලන්නේ නෝනලට ගන්න නෙමෙයිද?" ඇයගේ ක්රියාවෙන් විලම්බීත වු මා විමසයි.
"මේක අපේ ස්වාමින්වහන්සෙට අරන් දෙන්න "
"ස්වාමින්වහන්සේ කිව්වේ නෝනලගේ කවුරු හරිද?"
ඇය මුවගට මද සිනහවක් නගා ගනියි. එය පිවිතුරුය , ප්රසන්නය ,අකර්ශනීයය.
"ස්වාමීන්වහන්සේ අපේ විතරක් නෙමෙයි අපි හැමෝගෙම"
මා ඔසවා පොලවේ ගැසුවා සේ දැණේ.
"ඒකිව්වේ  පන්සලකට වගේද?
" අපෝ නෑ. ස්වාමින්වහන්සෙට වැඩ ඉන්න  විතරයි."

"දැන් ස්වාමින්වහන්සේ වැඩ ඉන්න තැන ටිකක් කරදරයි , පහසුකම් එහෙමත් අඩුයි. අපි ඒකයි එකතු වෙලා  උන්වහන්සෙට තැනක් අරන් දෙන්න තීරණය කලේ."     කලු මහතා  ෆොටෝ කෙලිය අවසන් කර  කතාවට මුක්කු ගසයි.

"ගිහියන්ට ධර්ම දේශනා කරන එක ඇරුණහම , උන්වහන්සේ දවසේ වැඩිපුර ඉන්නේ භාවනායෝගීව ,ඒක නිසා ටිකක් නිස්කලංක තැනක් වෙන්නත් ඕනා."
"භාවනා මධයස්ථානයක් වෙන්නැති ?" මා සැක දුරුවීමට විමසයි.
"අපෝ නෑ . උන්වහන්සේගේ ධර්මය හරි වෙනස් , උන්වහන්සේ කරන්නේ අපිට කෙලින්ම නිවනට මාර්ගය පෙන්නන එක විතරයි."

"රහතන්වහන්සේ නමක්ද? "
"අපෝ නෑ. උන්වහන්සේ බුදුබව පතන කෙනෙක් .මේ අත්මෙම  රහත්වෙන්න  පුලුවන් වුණත් උන්වහන්සේ ඒක නොකරන්නේ ඒනිසා "
"මට නං ඕවා ටික්ක තේරෙණවා අඩුයි නොනා" මා ඇගට පතට නොදැනී පවසයි.
"අපිටත් මුලින්ම අවබෝධ වුණේ නෑ. පස්සේ ස්වාමින්වහන්සෙත් එක්ක දිගටම ඉන්නකොට ටික ටික අවබෝධවෙන්න පටන් ගත්තා. දැන් අපි දෙන්නා උන්වහන්සේ ලග භාවනා කරලා සිත සෑහෙන දියුණු තත්වෙකට පත්කරලා තියෙන්නේ. දැන් අපිට ඕන අනිත් අයටත් මේ මාර්ගය කියලා දෙන්න."

ඈගේ පෙණුම නිවීමය ,වචන නිවීමය , ස්වරය නිවීමය , ඇයද නිවීමය . එදා ගිහිගෙය හැර යන සිදුහත් කුමාරයාට නිබ්බුත පද කියන්නට ඇත්තේද මෙවන් ලියකමය. මගේ සිතට අමුත්තක්  දැනේ.

"අපි නම් තැනට කැමතියි. ඒත් ස්වාමින්වහන්සේ තමයි තීරණය කරන්නේ. උන්වහන්සෙට ෆොටෝ ටික පෙන්නල  කැමති උනොත් අපි කෝල් එකක් දෙන්නං." කලු මහතා පවසයි. 
මෙවන් බිරිදක ලත් සැමියෙකුද නිසැකව නිව්නා වන්නේය. ඔහුගෙන් ජනිත වන්නේ නිවීමය.

" මේකේ තියෙනවා ස්වාමීන්වහන්සෙගේ  ආශ්රමය ඇඩ්රස් එකයි ,ෆෝන් නම්බර් එකයි." ඇය  කුඩා කාඩ් පතක් මා අත තබයි.

"වේලාවක ආශ්රමයට ඇවිල්ලා ස්වාමීන්වහන්සෙගෙ දේශනයක් අහලා බලන්න. "ඇය මට ඇරයුම් කරයි.

"උන්වහන්සෙගේ දේශන දිගටම අහන ඕනම කෙනෙක් ඉතින් කෙලින්ම නිවනට තමයි."
"අපි යන්නං. බුදුසරණයි !"
යුවල රථයට නැගී පිටව යයි.

ඔවුන් පිටව ගිය පසු මා හන්දියට පියමනියි.

"භ්වුතික ලෝකයේ භ්වුති ප්රශ්න වලට භ්වුතික විසදුම් සොයමින් වෙහෙසී පීඩාවට පත්ව සිටින මගේ සිතෙහි ගැලවුම් කාරයා නිවන නොවන්නේද? ඇත්තෙන්ම මා ගේ සියලු ප්රශ්නයන්ගේ විසදුම නිවන නොවන්නේද?"එසේනම් මා සෙවිය යුත්තේ එම උතුම් වු නිවනට මාර්ගය නොවන්නේද?මොවුන් දෙදනාගේ හමුවීම මගේ පෙර පිනකට සිදුවුවක් නොවන්නේද?
මේසේ සිතීමෙන් පවා සිතට කෙතරම් සැහැල්ලුවක් , නිවීමක් දැනේද

හන්දියේ මිනිසුන් වටවී සිටී. මා හෙමින් අතරට රිංගුවේ නිරායාසයෙනි.
හන්දිය මැද එකම කාලගෝට්ටියකි. 

" තමුසේ උඩ බලාගෙනද අයිසේ ත්රීවීල් එලවන්නේ?"

"මහත්තයනේ අස්පය වගේ වේගෙන් ඇවිල්ලා , එකපාරට බ්රේක් ගැහුවේ"

මීට සුලු මොහොතකට පෙර අපේ මිදුලේ නවතා තිබූ කිරි ටොයි රථයෙහි පශ්චාත් භාගය තැලී පොඩිවී ගොස්ය. ඊට නුදුරෙන් නවතා ඇති ත්රී රෝද රථයෙහි ඉදිරිපසටද  ඒ ඉරණමය.
"වැරැද්ද කරලා තව කටගහගෙනත් එනවා" හැපින්නක ලෙස කිපුණු නෝනා කෙසග ත්රීවීල් කොලුවා වෙත කඩා පනියි.
"නෝනලගේ ඉන්ෂුවරන්ස් එකෙන් නොනලගේ වාහනේ හදා ගන්න. මගේ වීල් එක මම හදා ගන්නං."

"තමුසේ හප්පන්නයි , අපි පාඩුවිදින්නයි. තමුසේ  අපිට කරලා තියෙන්නේ ලක්ෂගාණක පාඩුවක්" කලු මහතා කෑගසයි.
කතා කරන්න ඩලා පොලීසියට"  ඔහු බිරිදට පවසයි.

"අනේ සර් මගේ රස්සාව නැති කරන්න එපා " තරුණයා පිංසේණ්ඩු වෙයි.

"මෙහාට ගන්නවා තමුසෙගේ ලයිසන් එක " කොලු ගැටයා පැන යාවී යැයි සිතූ කලු මහතා ඔහුගේ කමිස කොලරයෙන් අල්ලයි. කොලුවගේ දැගලීමට ඔහුගේ ගොමස් කඩය ඉරී මහතාගේ අතට එයි.

"අඩෝ මහත්තයා ......චටාස් පටාස්..........වටවී සිටි කොලු රැල කලු මහතාට නෙලයි.

"අත ඇරපන් මගේ මහත්තයව "නොනා තම හෑන්ඩ් බෑගයෙන් කොලු රැලට නෙලයි.

" මෙතනින් යමු අනේ ඉක්මණට , නැත්ත මුන් අපේ වාහනෙත් කුඩු කරයි." ප්රතිපහාර දීමට සැරසෙන කලුමහතාට නොනා කෑගසයි.

දෙදෙනාම අපහසුවෙන් රථයට රූටා කොලු රැලගේ හූ හඩ මධයයේ හීයට පිම්බාක් බදු වේගයෙන් පලා යයි.
පිරිස විසිරී යයි.
"සීනි" මතක් වී මා පාර පැන  සිල්ලර කඩයට ගොඩ වෙයි.
"මුදලාලි මට සීනි කිලෝ එකක්"
"මහත්තය දැක්කද මෙතන සිද්ධිය?" නාකි මුදලාලි සීනි කිරමින් අසයි.
"හ්ම්"
"පොලීසියටත් කතා කොරලා , කොහාටද දන්නෑ අර කාර් එකේ ජෝඩුව පිඹගෙන ගියේ ?"
" ගියේ මුදලාලි  නිවනට.........කෙලින්ම නිවනට......"

Story by daminda dampahalage

No comments:

Post a Comment